ජලය උදෙසා දෛනිකව මුහුණදෙන සටන : බදුල්ල, සාර්නියා වත්තේ කතාව

පියුමි රවින්ද්‍ර විසින් -22.06.2023

කාන්තාවන් දෙදෙනෙක් ජල මූලාශ්‍රය දෙසට බෑවුමේ පහළට ගමන් කරමින් සිටිති

සෙවනත ව්‍යාපෘති කණ්ඩායම සාර්නියා වත්තේ ප්‍රජා පොකුරක් වන මහතැන්න හි ජල මූලාශ්‍රය සහ බෙදාහැරීමේ පද්ධතිය විශ්ලේෂණය කිරීම සඳහා බදුල්ලේ සාර්නියා වත්ත වෙත ඔවුන්ගේ සිව්වන චාරිකාව සිදු කළහ. මෙම ක්ෂේත්‍ර චාරිකාව මගින් ප්‍රජාව ඔවුන්ගේ දෛනික ජල අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් මුහුණ දෙන අරගලය සියැසින් දැක ගැනීමේ අවස්ථාව ලැබුණි. රාත්‍රී කාලයේ දී, කාන්තාවන් ඔවුන්ගේ දිවා කාලයේ සේවා මුරය අවසන් කිරීමෙන් පසුව පිරිසිදු වීමට සහ සේදීමේ කටයුතු සඳහා පහත් ස්ථානයක පිහිටි ස්වභාවික උල්පත සහ ඇළ වෙත ගමන් කරන අතර, එය ඔවුන්ව අනතුරකට භාජනය විය හැකි ඉහළ අවදානමක් සහිත ගමනකි. මෙම ගැටලුව සඳහා හේතු මොනවා ද? අපි මීට පසුබිම් වන ඇතැම් තොරතුරු පිළිබඳ සොයා බලමු.

නිවර්තන කලාපීය රටක් වන ශ්‍රී ලංකාව, ප්‍රධාන වශයෙන්, මැයි මස සිට සැප්තැම්බර් මස දක්වා නිරිතදිග මෝසම් සහ දෙසැම්බර් මස සිට පෙබරවාරි මස දක්වා ඊසානදිග මෝසම් යන මෝසම් සමයන් දෙක තුළ වර්ෂාව ලබන රටකි. උල්පත්, ඇළ දොළ, ගංගා, පොකුණු සහ වැව් වැනි ස්වභාවික ජල සම්පත් පෝෂණය කිරීමට දායක වන ඇතැම් අන්තර් මෝසම් වර්ෂාවන් ද ලැබේ.කෙසේ වුවද, පානය, පිරිසිදු වීම, කෘෂිකාර්මික කටයුතු ආදී කටයුතු සඳහා පවතින ජල සම්පත් නිශ්චිත ප්‍රදේශයන් සහ දේශගුණ කලාපයන් අනුව වෙනස් වේ. 1963 දී මිලි මීටර 2522.42 ක උපරිමයක් ද 1980 දී මිලිමීටර 1291.20 ක අවමයක් ද වන වාර්තා සහිතව, ශ්‍රී ලංකාවේ පසුගිය වසර පනහක කාලය තුළ වර්ෂාපතනය සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත. මෑතක දී, 2020 සිට 2021 දක්වා එය මිලිමීටර 1610.83 සිට 2038.73 දක්වා වැඩි වී ඇත. එහෙත්, කඳුකර වැවිලි ප්‍රජාවන් ඇතුළුව, ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන පවුල් ඔවුන්ගේ ජල අවශ්‍යතා සපුරා ගැනීමේ අරගලයකට මුහුණ පාමින් සිටිති.

සාර්නියා හි මිනිසුන් ජලය වෙනුවෙන් මුහුණදෙන සටන පිටුපස ඇති හේතුව කුමක්ද?

සාර්නියා යනු 1885 දී පිහිටුවන ලද වර්තමානයේ දී මල්වත්ත වැලි ප්ලාන්ටේෂන් සමගම විසින් හිමිකාරිත්වය දරන තේ වත්තකි. එය හෙක්ටයාර 165 ක් පුරාවට පැතිර තිබෙන අතර එහි සේවක පවුල් 619 ක් සිටිති. මෙම ප්‍රජාවගේ මූලික ජල මූලාශ්‍රය වන්නේ මහතැන්න කඳු පන්තියේ පිහිටි ස්වභාවික ජල උල්පතකි. උල්පතෙහි ඇති ජල ටැංකියකට සම්බන්ධ කරන ලද ජලනළ ගණනාවක් හරහා තනි පවුල්වලට ජලය බෙදාහැරේ.

ජලය ලබා ගැනීමේ වත්මන් තත්ත්වය පිළිබඳව සාර්නියා ප්‍රජාවේ එක් නිවැසියකු විසින් පැහැදිලි කරන ලදී. ඇය මෙසේ පැවසීය:

"වතුර කියන්නේ සාර්නියා වතු ප්‍රජාව සඳහා ඉතාමත් අවශ්‍ය සේවාවකි, එමනිසා මහතැන්න කොටසේ මිනිසුන් කණ්ඩායම් හින්දු කෝවිලට අයිති ළිඳකින් ජල සැපයුමක් ලබා ගැනීමට කටයුතු කළා. මෝටරයක් මගින් වතුර පොම්ප කර ප්‍රජාවේ ඇති පොදු ජල කරාම වෙත බෙදා හැරේ. මෙම සේවාව සඳහා එක් එක් පවුලකින් රුපියල් 300 බැගින් මාසයකට කෝවිල වෙත ගෙවනු ලැබේ, එමෙන්ම වත්තේ සහ අවට ප්‍රදේශවල හොඳ ජල සම්පත් තිබේ. ප්‍රජාව සඳහා ඇති ජල හිඟයට ප්‍රධාන හේතුව වන්නේ ප්‍රමාණවත් පරිදි ජලය කළමනාකරණය නොකිරීම යි."

ඇතැමුන් පැවසූයේ ජලය අපිරිසිදු බවයි. ජල මූලාශ්‍රයේ, උල්පත් ජලයට සතුන්ගේ අසූචි මිශ්‍ර වීමේ හැකියාවක් ඇත.

කෙසේ වුවද, ADB නිල නිවාස, ඔට්ටු පේළි නිවාස සහ මෙට්ටු පේළි නිවාස වැනි මහතැන්න කොටසේ උප කොටස්වල පදිංචිකරුවන්ගෙන් බහුතරයකට ජල මූලාශ්‍රය ආසන්නයේ ඉදි කර ඇති ජල ටැංකියට නිසි පරිදි සම්බන්ධ කර නොමැති බෙදාහැරීමේ නළ මගින් ජලය ලැබේ. තවද, මෙම ජල ටැංකිය ඉදිකරන ලද්දේ වසර 15කත පමණ පෙර වන අතර මේ වන විට නිසි පරිදි ක්‍රියා නොකරයි; පාලක වෑල්වය සවි කිරීමකින් තොරව අවිධිමත් ලෙස බෙදාහැරීමේ නළ සවි කර ඇති ආකාරය හේතුවෙන් එහි ජලය ගබඩා කර තැබිය නොහැක.

ADB නිල නිවාසවල පදිංචි විසිතුන් හැවිරිදි කාන්තාවක් මෙසේ අවධාරණය කරන ලදී:

"සතියකට දෙවරක්, අපි අතරින් කිහිප දෙනෙක් අප පදිංචිව සිටින ADB නිල නිවාසවලට ජලය සපයන තනි ජලනළ සම්බන්ධ කරන්න හවස 6න් පස්සේ අඩි පාරක් දිගේ පඳුරු අතරින් මහතැන්න ජල මූලාශ්‍රයට ඉහළට නගිනවා. වැසි කාලයේ දී, කඳුකර ප්‍රදේශයේ බෑවුම්වල ඉහළට සහ පහළට ගමන් කිරීම කාන්තාවන්ට විශාල අවදානමක්, නමුත් දෛනික අවශ්‍යතා සඳහා ජල අවශ්‍යතාව හේතුවෙන් අපට මෙම දුෂ්කරතාවට මුහුණ දෙන්න සිදුවෙනවා."

වතුයායේ වත්මන් ජල සැපයුමට අදාළ ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ පද්ධතියේ නිසි කළමනාකරණයක් නොතිබීම බව 2021 දී පැවැත්වූ මූලික සමීක්ෂණය මගින් අනාවරණය විය. ප්‍රජාවේ පදිංචිකරුවන් පැවසූයේ එක් තනි නළ මාර්ගයකට සැපයුම් නළ ගණනාවක් සම්බන්ධ කර තිබීම සහ ඇතැම් මිනිසුන් විසින් ජලය බෙදාහැරීමේ දී අනිසි පක්ෂපාතකම් වලට පොළඹවා ගැනීම හේතුවෙන් බොහෝ පවුල්වලට ඒකාකාරී නොවන බෙදාහැරීමක් සහ ප්‍රමාණවත් නොවන ජල සැපයුමක් ලැබෙන බවයි. බොහෝවිට, නළ මාර්ග ජල මූලශ්‍රයට සම්බන්ධ කර ඇති විට පැය භාගයකටත් වඩා අඩු කාලයක් වැනි කෙටි කාලයක් සඳහා පමණක් ජලය සපයනු ලැබේ. උදාහරණයක් ලෙස, ADB නිල නිවාසවලට ජලය ලැබෙන්නේ ඉරිදා දිනවල පැය දෙකක කාලයක් පමණක් වන අතර මෙට්ටු පේළි නිවාසවල පවුල් අටකට දවසක් හැර දවසක් පයක කාලයක් ජලය ලැබේ. නිවැසියන් සිමෙන්ති ටැංකි, කළ, හට්ටිමුට්ටි හෝ බැරල් භාවිතයෙන් ජලය එකතු කර ගබඩා කර තබා ගන්නා නමුත් මෙය ඔවුන්ගේ දෛනික ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ.

පදිංචිකරුවන් සමග පැවැත්වූ සංවාදය අතරතුර, පවතින ජල සැපයුම් පද්ධතිය අවිධිමත් බැවින් සහ ඔවුන්ගේ දෛනික ජල අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් එම ජල සැපයුම් පද්ධතිය සහ එහි කළමනාකරණය පිළිබඳ ඔවුන් දැඩි ලෙස අතෘප්තියට පත්ව ඇති බව හෙළි විය. වත්මන් ක්‍රියාකාරිත්වය අවස්ථානුබද්ධ සහ අවිශ්වාසී වේ. ඔවුන්ගේ මතයට අනුව, නිසි ලෙස ආරක්ෂා කර ගබඩා කරන්නේ නම් මහතැන්න ස්වභාවික උල්පතට ප්‍රමාණවත් ධාරිතාවක් ඇති අතර ගැඹුරු ළිං සාදවා පවුල්වලට බෙදාහැරීම පිණිස ජලය ගබඩා කිරීමේ ටැංකි වෙත ජලය පොම්ප කිරීමේ හැකියාවක් ඇත. තවද, වත්තේ කළමණාකාරිත්වයේ සමීප අධීක්ෂණය යටතේ නිසි පරිදි කළමනාකරණය කරනු ලබන ජල සැපයුම් පද්ධතියක් පිහිටුවන ලෙස ද ප්‍රජාව විසින් යෝජනා කර ඇත.

2023 ජනවාරි මස සාර්නියා හිදී පැවැත්වුණු ෆොටෝවොයිස් ඉදිරි දැක්ම වැඩමුළුවේ ප්‍රධාන පණිවුඩයක් වූයේ, වත්මන් ජල සැපයුම් පද්ධතිය උචිත ප්‍රජා මැදිහත්වීම් හරහා වැඩි දියුණු කරනු ලැබිය යුතු බවයි. එවැනි මැදිහත්වීමක ප්‍රධාන අරමුණ වන්නේ, දැනට ජල සැපයුම් ලබා ගත හැකි ද එසේ නොවේ ද යන්න නොතකා, සියලුම පවුල්වලට ජලය ලැබෙන බව සහතික කර ගැනීම වේ. ජලය ආශ්‍රිත අභියෝග විසඳීම යනු සැලකිය යුතු කාලයක් සහ සම්පත් යෙදවීමක් අවශ්‍ය වන්නා වූ, පාර්ශ්වකරුවන් බොහෝ දෙනෙකුගේ සාමූහික ප්‍රයත්නයකි.

පියුමි රවින්ද්‍ර සෙවනත නාගරික සම්පත් මධ්‍යස්ථානයේ පර්යේෂණ නිලධාරිනියක වන අතර අන්තර්ග්‍රාහී නාගරික යටිතල පහසුකම් (IUI) කණ්ඩායමේ සාමාජිකාවකි. IUI යනු, ‘අන්තර්කරණයේ ගමන් පථ කරා: වඩාත් ආන්තික ප්‍රජාව සඳහා යටිතල පහසුකම් කටයුතු සකස් කිරීම’ (ප්‍රදාන යොමු අංකය ES/T008067/1) යන නාමය යටතේ ගෝලීය අභියෝග පර්යේෂණ අරමුදල හරහා එක්සත් රාජධානියේ පර්යේෂණ සහ නවෝත්පාදනය විසින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘතියකි.