ඉන්ධන අර්බුදය: ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශයේ අඩු අදායම්ලාභී පදිංචිකරුවන්ට තවත් පීඩාවක්

මොහිදීන් එම්. අලිඛාන් සහ සකීනා අලිඛාන් විසින් -24.07.2022

සම්මන්ත්‍රණපුර භූමිතෙල් සඳහා දිගු පෝලිමක්

2021 අගෝස්තු මස සිට, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායුව (LP ගෑස්), පෙට්‍රල් සහ ඩීසල් හිඟය සහ ඒවායෙහි මිල ඉහළ යාම ශ්‍රී ලාංකිකයන්ගේ, විශේෂයෙන්ම දුප්පත් ජනතාවගේ ජීවිතවලට විශාල බලපෑමක් ඇති කළේය. විදේශ සංචිත නොමැති වීම හේතුවෙන්, ශ්‍රී ලාංකිකයින් බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ පාමින් සිටිමින් තිබේ

2022 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 26% කින් අවප්‍රමාණ වී ඇත. මෙම අවප්‍රමාණ වීම හේතුවෙන් ඉන්ධන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇත. 2021 සැප්තැම්බර් මස වනවිට කිලෝ ග්‍රෑම් 12.5 LP ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,490 ක් ව පැවති අතර, එය 2021 ඔක්තෝබර් මස වන විට රුපියල් 2,675 ක් ද, 2022 අප්‍රේල් මස වන විට රුපියල් 4,860 ක් ද විය. ඒ හා සමානවම, පෙට්‍රල් ලීටරයක මිල 2021 ජුනි මස වන විට රුපියල් 127ක් විය; මෙය කිහිප වරක් වැඩි වෙමින් 2022 අප්‍රේල් මස වන විට රුපියල් 338 දක්වා වැඩි විය. පසුගිය මාස කිහිපය තුළ ඉන්ධන සැපයුම් හිඟය අසාමාන්‍ය ලෙස උග්‍ර වී තිබේ.

ඉන්ධන හිඟයෙහි සහ ඉන්ධන මගින් ජනනය වන විදුලි බලය මත රඳා පැවතීමේ ප්‍රතිඵලයක් වශයෙන් රට පුරා විදුලිබලය අත්හිටවීම් නිරන්තරයෙන් සිදුවන්නක් බවට පත්ව ඇත.තවද, ආහාර පිසීම මෙන්ම ගමනාගමනය සඳහා ඉන්ධන නොමැති වීම හේතුවෙන් බොහෝ නගර අවුල් සහගත තත්ත්වයන්ට පත්ව ඇත. මෙය මුළු දිවයිනටම බලපාන ප්‍රශ්නයක් වුවද, විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් දැඩි තර්ජනයකට මුහුණ දී ඇත.

කොළඹ ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනාවාස තුනක (නවගම්පුර, සම්මන්ත්‍රණපුර සහ ලුණුපොකුණ) 2021 අවසාන කාලයේ දී සිදු කරන ලද අපගේ මූලික සමීක්ෂණයක ප්‍රතිඵලවලට අනුව, නිවැසියන්ගෙන් 72.7% ක ආහාර පිසීම සඳහා භාවිත කරන ප්‍රධානම ශක්ති ප්‍රභවය වන්නේ LP ගෑස් ය. සම්මුඛ සාකච්ඡාවට ලක් වූවන්ගෙන් 24.3%ක් ඔවුන් ආහාර පිසීම සඳහා භූමිතෙල් භාවිත කරන බව පැවසූ අතර, පිළිතුරු දුන් පිරිසෙන් 2.3%ක් පමණක් ඔවුන් ආහාර පිළියෙළ කරගැනීම සඳහා දර භාවිත කරන බව පැවසූහ.

මෙම ප්‍රදේශවල සිදු කළ සම්මුඛ සාකච්ඡාවන්ට අනුව, LP ගෑස් මිල ඉහළ යාම හේතුවෙන්, මෙම ජනාවාසවල පදිංචිකරුවන් මේ වන විට ආහාර පිසීමේ ප්‍රධාන ඉන්ධනය ලෙස භූමිතෙල්වලට මාරු වෙමින් සිටිති. වයස අවුරුදු 43 ක තිදරු මවක් වන ෆර්සානා, ඇගේ ආහාර පිසීමේ ප්‍රධාන ඉන්ධනය ලෙස කලින් LP ගෑස් භාවිත කරනු ලැබී ය. ඇයට භූමිතෙල්වලට මාරු වීමට සිදු වී ඇති නමුත්, ඇයට දැන් මෙම ඉන්ධනය ලබා ගැනීම ද අභියෝගයක් වී ඇත. ඇය මෙසේ පැහැදිලි කළාය:

"ඉවීමට ගන්නා ගෑස් සිලින්ඩරවල මිල වැඩි වීම හේතුවෙන් අපි පසුගිය මාසයේ සිට (2022 මාර්තු මස සිට) භූමිතෙල්වලට මාරු වුණා, නමුත් එය (භූමිතෙල්) ද මේ වන විට ඉතා මිල අධික වී තියනවා. භූමිතෙල් ලබා ගැනීමට අපට පැය ගණනක් දිගු පෝලිම්වල බලා සිටීමට සිදු වී තියනවා. අපි භූමිතෙල් ගැනීමට උදේ 6 ට පමණ ගියහොත් ආපසු උදේ 10 ට 11 ට පමණ ගෙදර යන්න පුළුවන්."

රටේ ප්‍රධාන ඉන්ධන සැපයුම්කරු වන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සැපයුම් සීමා කර තිබීම හේතුවෙන්, ඇතැම් පාරිභෝගිකයන්ට භූමිතෙල් ලබා ගත නොහැකිව පවා ආපසු නිවෙස් කරා යාමට සිදු වී ඇත. 58 වියැති මල්ලිකා මෙයට මුහුණ දී ඇත. ඇය මෙසේ පැවසීය:

"ඔයාලා පෝලිම්වල හිටියත්, මිලට ගන්න භූමිතෙල් නෑ. අපිට හිස් අතින් ආයිත් ගෙදර යන්න වෙලා තියෙන්නේ. දැන්, අද අපිට භූමිතෙල් නෑ, ඒවා ඉවරයි."

ඉන්ධන හිඟය අඩු ආදායම්ලාභීන්ට ඔවුන්ගේ එදිනෙදා ජීවිතය පවත්වා ගැනීම වඩාත් අසීරු තත්ත්වයකට පත් කර ඇත්තේ පමණක් නොව, එය ඔවුන්ගේ ජීවිකාවන්ට ද දැඩි බලපෑමක් වී ඇත. ක්ෂණික ආහාර පිසීම මෙම ප්‍රජාවේ ඇතැම් පවුල්වල ප්‍රධාන ආදායම් මාර්ගය වේ. ආහාර පිසීමේ ඉන්ධන හිඟය සහ ආහාරවල මිල අධික වීම හේතුවෙන්, විශාල ලෙස මෙම අදායම් මාර්ගය මතම යැපෙන කාන්තාවන්ට පසුගිය මාස කිහිපය තුළ තම කෑම ව්‍යාපාරයන් කරගෙන යාමට නොහැකි වී ඇත. සැපයුම් හිඟය සහ ඉහළ යන මිල මෙම අඩු ආදායම්ලාභී ජනාවාසවල බොහොමයක් පවුල් මත ඇති බර දෙගුණ කර ඇත. 55 වියැති රාජලක්ෂ්මි ඉඳිආප්ප සාදා විකිණීමෙන් තම ජීවිකාව කරගෙන යයි. LP ගෑස් මිල ඉහළ යාම සහ භූමිතෙල් හිඟයක් පැවතීම ඇයගේ ව්‍යාපාරයට අහිතකර ලෙස බලපා ඇත. ඇගේ ව්‍යාපාරයට මෙම ඉන්ධන අර්බුදය බලපෑ ආකාරය ඇය විස්තර කළේ මෙසේ ය:

"භූමිතෙල් හිඟය හේතුවෙන්, මම සති කිහිපයකින් කිසිම ඉඳිආප්පයක් විකුණලා නෑ. මම හැමදේම උයන්න පුරුදුවෙලා හිටියේ ගෑස්වලින්, දැන් අපි භූමිතෙල් පාවිශ්ෂි කරනවා, නමුත් අපිට අවශ්‍ය තරම් ප්‍රමාණයක් භූමිතෙල්වලින් කරගන්න බෑ. අපිට මේ ගෑස් සිලින්ඩරයක මිල එක්ක ව්‍යාපාර කරන්න බෑ... ඊයේ පැය පහක් පෝලිමේ ඉඳලා මම භූමිතෙල් ලීටර් තුනක් ගෙනාවා... අපිට ඉක්මනින්ම මූල්‍ය විපතකට මුහුණ දෙන්න වෙනවා."

මෙම ජනාවාසවල බොහොමයක් පදිංචිකරුවන්, විශේෂයෙන්ම පුරුෂයන්, නිල නොවන අංශවල රැකියා කරන අතර, එහි ප්‍රතිඵලය වන්නේ රැකියා අනාරක්ෂිත බව සහ අඩු වේතන වේ. ප්‍රදේශයේ පුරුෂයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තම ප්‍රධාන ආදායම් මාර්ගය වශයෙන් ත්‍රීරෝද රථයක් පදවති. ඔවුන්ගෙන් ඇතැමෙක්ට ඔවුන්ගේම ත්‍රීරෝද රථ තිබුණ ද, බහුතරයක් දෙනා ඒවා කුලියට ගෙන හෝ ලීසිං සමාගම් හරහා මිලදී ගෙන තිබේ. කෙසේවුවද, කොවිඩ්-19 වසංගතය සමග ඇතිවූ ඇඳිරිනීති සහ රට වසා දැමීමේ තත්ත්වයන් මගින් ඔවුන්ගේ ආදායමට සැලකියයුතු බලපෑමක් එල්ල විය. ඔවුන් නැවත තම සාමාන්‍ය කාර්ය සටහනට අනුගත වීමට අපේක්ෂාවෙන් සිටින අතරතුර, ඉන්ධන හිඟයක ආකාරයෙන් පැමිණි තවත් අලුත් ගැටලුවකට මුහුණ පාන්නට ඔවුන්ට සිදු විය. ඉන්ධන හිඟයන් එවැනි පුද්ගලයන්ට දෛනික පදනමින් මුදල් ඉපයීම වඩාත් අසීරු කරයි. පෙට්‍රල් මිල ඉහළ යාම මෙන්ම, ඔවුන්ට තම ඉන්ධන ටැංකි පුරවා ගැනීමට පැය 5 කට වඩා වැඩි කාලයක් පෝලිම්වල රැඳී සිටීමට ද සිදු වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, ඔවුන්ට ධාවනය කළ හැකි පැය ගණන සහ උපයාගත හැකි ආදායම පහත වැටී ඇත.

වයස අවුරුදු 26 ක් වන ෆර්හානා තම සැමියා සහ දරුවන් දෙදෙනා සමග කුඩා නිවසක ජීවත් වෙයි. කොවිඩ් වසංගතයේ ප්‍රතුඵලයක් ලෙස ෆර්හානාගේ සැමියාට රැකියාව අහිමි වූ අතර එතැන් සිට ඔහු විවිධ රැකියාවන් කර ඇත. මාස හයකට පෙර, ෆර්හානාගේ සැමියා ලීසිං සමාගමක් හරහා ත්‍රී රෝද රථයක් මිලට ගෙන එය කුලියට ධාවනය කළේය. කෙසේවුවද, අඛණ්ඩ ඉන්ධන අර්බුදය මෙම පවුලේ ආදායම් මතට බාධකයක් වන්නේ ය. ෆර්හානා ඔවුන්ගේ වත්මන් මූල්‍ය දුෂ්කරතා මෙසේ විස්තර කළාය:

"මගේ සැමියා ලීසිං සමාගමක් හරහා ත්‍රී රෝද රථයක් බදු ගත්තා. අපිට මාසයකට කුලිය රුපියල් 20,000ක් ගෙවන්න තිබෙනවා. කලින්, ඔහු රුපියල් 2,000 ක් 2,500ක් අතර මුදලක් [මාසයකට] උපයා ගත්තා, එයින් අපි අපේ වියදම් සහ කුලිය ආවරණය කරගත්තා. එසේ වුවත්, ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන හිඟය හේතුවෙන් අනපේක්ෂිත ලෙස ඔහුගේ ඉපයීම් අඩු වුණා. ඉතා අමාරුවෙන් ඔහු දැන් රුපියල් 1,000ක් පමණ [මාසයකට] උපයනවා. මේ මුදලෙන් අපිට අපේ එදිනෙදා වියදම් කළමනාකරණය කරගන්න අමාරු යි. පසුගිය මාස තුනටම අපි කුලිය ගෙවා නැහැ. ඕනෑම වෙලාවක ත්‍රී රෝද රථය ඔවුන්ගේ භාරයට ගන්න ලීසිං සමාගමට පුළුවන්."

අඩු ආදායම්ලාභී ජනාවාසවල බොහොමයක් පදිංචිකරුවන් ඉතා විශාල වශයෙන් දෛනික වේතන මත රැඳී සිටින බැවින්, වත්මන් ඉන්ධන අර්බුදය මගින් ඔවුන්ගේ කටයුතු ඉතා අසීරු තත්ත්වයකට පත්කර ඇත. මිනිසුන්ට නිරන්තර විදුලි කප්පාදුවලින් පීඩා විඳින අතරම භූමිතෙල් සහ පෙට්‍රල් සඳහා දිගු පෝලිම්වල පැය ගණන් රැඳී සිටීමට ද සිදුව ඇත. ඔවුන්ගෙන් බොහොමයකගේ ජීවිකාවන් ආහාර පිළියෙළ කිරීම, ත්‍රී රෝද රථ ධාවනය සහ දෛනික වැටුප් සහිත කම්කරු රැකියාවන් මත රඳාපවතින බැවින්, මෙම ඉන්ධන මිල ඉහළ යාම මෙන්ම ඉන්ධන හිඟය ඔවුන්ගේ ආදායම මත සැලකිය යුතු බලපෑමක් එල්ල කර ඇත.

ඇතැම් ස්ථානවල, තත්ත්වය ව්‍යාකූල වී, ජනතාව රජයට එරෙහිව විරෝධතා පැවැත්වීමට පටන් ගෙන ඇත. ඉන්ධන පිරවුම්හල්වල විශාල පෝලිම් හැසිරවීම සඳහා රජය විසින් පොලීසිය යොදවා ඇති අතර, ඇතැම් අවස්ථාවල දී, මිනිසුන් කලහකාරී වන අවස්ථාවල දී කඳුළු ගෑස් යොදා ගැනුණි. මෙම ගැටලුව රටේ දේශපාලනික අස්ථාවරභාවය ඇති කිරීමට සමත්ව ඇත.

මොහිදීන් එම්. අලිඛාන් (සංක්‍රමණ පර්යේෂණ හා සංවර්ධන කේන්ද්‍රයේ පර්යේෂණ උපදේශක) සහ සකීනා අලිඛාන් (සංක්‍රමණ පර්යේෂණ හා සංවර්ධන කේන්ද්‍රයේ පර්යේෂක සහ GIS/සිතියම්කරණ විශේෂඥ) අන්තර්ග්‍රාහී නාගරික යටිතල පහසුකම් (IUI) කණ්ඩායමේ සාමාජිකයන් වේ. IUI යනු, ‘අන්තර්කරණයේ ගමන් පථ කරා: වඩාත් ආන්තික ප්‍රජාව සඳහා යටිතල පහසුකම් කටයුතු සකස් කිරීම’ (ප්‍රදාන යොමු අංකය ES/T008067/1) යන නාමය යටතේ ගෝලීය අභියෝග පර්යේෂණ අරමුදල හරහා එක්සත් රාජධානියේ පර්යේෂණ සහ නවෝත්පාදනය විසින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘතියකි.